ජිවිතේ විරාම ලකුණ ..



අවුරුදු ගානකට පස්සේ .. දවසක අද මන් ආයෙත් පිටු අතරේ හිර වෙලා. කීබෝඩ් එකේ අකුරෙන් අකුර අමුණන්න අවුරුදු ගානකට පස්සේ මන් උත්සාහ දරනවා.. මේ තප්පරෙන් තප්පරෙන් විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය දවසින් දවස මාසෙන් මාසේ අවුරුද්දෙන් අවුරුද්ද මගේ ජිවිතේ අරුතක් නැතිවම ගෙවුනා කියන එක මමයි මගේ හිතයි විතරක් දන්න රහසක් . ළඟින්ම හිටපු මිනිස්සු බලන් ඉන්නම් කියලා හිටපු මිනිස්සු මට ශක්තියක් වුවමනාම වෙලාවේ ඔයාට ඕන මේ මොහොත සතුට වෙන්න හෝ නොයෙකුත් කාරණා හේතු දීලා ඈතට ගිහිල්ලත් මන් තවමත් බලන් ඉන්න මෝඩයෙක් වෙන්න තරම් මගේ හිත … ඇත්ත මේ පහු ගිය අවුරුදු ගණන අර්ථයක් නැති වසර ගණනාවක් .. තවමත් මන් මාව හොයනවා .. ආදරේ කරන දේවල් පිස්සෙක් වගේ ලුහුබැඳ ගියා හීන පිස්සුවෙන් වගේ බලාපොරොත්තු වුන ජිවිතේ අවුරුදු ගණනාවක් අද ප්ලැන් කරලා හීන බලපු අවුරුදු විසිපහට කලින් මාව මන් හොයනවා .. මන් හැම දෙකින්ම අයින් වෙලා මාව හොයන්න ගනිද්දී .. ජිවිතේ අරමුණු එකින් එක කඩන් වැටෙද්දි මම කල්පනා කර එකම දෙයක්. මට කොතනද වැරදුනේ .. මාව හොයන්න ගනිද්දී නැති වුන මාව හොයන්න කොහොමද කොහෙද හොයන්නෙ කියන ප්‍රශ්න වල මන් අත්‍රමන් වෙද්දී අම්මා මට කිව්වේ “මට ඔයා ගැන බයක් නෑ ඔයාට මොන දෙයක් වුණත් මන් දන්නවා ඔයා ශක්තිමත් කියලා .. ඔයා නැගිටිනවා කියලා ..” ඉතින් කඩන් වැටෙන්නේ නැතිව රඟපාන්න පටන් ගන්නේ හොදින් කියලා එහෙම..

ඇත්ත මිනිස්සුන්ට වැඩක් නෑ අපේ හිත කොච්චර රිදුනත් .. අපි මොන තත්වේ හිටියත් .. එයාලට වුවමනා වෙලාවට අපි හිටියට .. අපිට වුවමනා වෙලාවට ? අපි මිනිස්සුන්ට දෙන පොරොන්දු වලට කොච්චර ගරු කරනවද ඒවා වෙනුවෙන් ඉන්නවද ඒවා රකිනවද. ඒත් දෙන්නෙක් දෙන පොරොන්දුවක් තනි කෙනෙක් රකින කොට ඒක සතුටක්ද.. රකින බැරි පොරොන්දු මුලින්ම දෙන්නේ ඇයි .. අපි ජිවිතේ අතරමං වෙන ප්‍රශ්න මේවා කියලා කියන්න පුළුවන් ..

ජිවිතේ මොන විදියට වෙනස් වෙනවද කියලා අපිට අද කියන්න බැහැ. මන් මොන වගේ කෙනෙක්ද කියන ඒක කිසිම කෙනෙක්ට නිකන්ම තීරණය කරන්න බැහැ. කිසිම මනුස්සයෙක්ට සහතිකයක් දෙන්න අපිට අයිතියක් නෑ. මොකද අපි හැමෝටම තියෙනවා අපිට වැදගත් අයට පෙන්නන්න අකමැති පැත්තක්. අපි ළඟ ඉන්න අයට ඒක තේරුම් ගන්න බැරිනම්.. ඒ වෙනුවට එයාලගෙන් අපිට එන්නේ දෝෂාරෝපණ නම්…

අපි අනිත් අයට මානසිකව ශක්තිමත් ස්වරූපයක් වෙන්න පුළුවන්. භෞතිකව ශක්තිමත් වෙන්න පුළුවන් . ඒත් හැමෝටම අමතක වෙන දේ තමයි අපි හැමෝම පෘතග්ජන මිනිස්සු කියලා. සමහර මිනිස්සුන්ට රිදුනට කමක් නෑ තමන් හරි කියාගන්නා මිනිස්සු අනෙකාට කොච්චර රිදුනත් අනෙකාට අවස්ථාවක් නොදී තමන් හරි කියන මතේ ඉන්න එක ………
හිත නැවතුන මේ වගේ නොයෙකුත් කරුණු කාරණා ජිවිතේ මේ කාලසීමාව තුලදි මගේ හිතේ ප්‍රශ්නාර්ථ ලකුණු අදටත් ඉතුරු කරලා තියෙනවා.. හැම කෙනාටම තේරුමක් නැති වෙන්න පුළුවන් ඒත් … සමහරුන්ට මේ ප්‍රශ්න ජිවිතේ බාගයක්ම විසදාවි… මොකද ජිවිතේ එහෙම නිසා……..ඉතින් මගේ ජිවිතේ විරාම ලකුණ මන් එහෙම සදහන් කරනවා ..

ඔව් හැමදාම වගේ ජිවිතේ එහෙමයි ….

තරු

කපුටා සහ රාජාලියා

අද උදේ රේඩියෝවෙන් මට අපූරු කතාවක් කනවැකුන. අපි කවුරුත් දන්න උකුස්සා සහ රාජාලියා, ඒ දෙන්න අපි දන්නේ හුගක්ම තියුණු කුරුල්ලන් විදියට . තමන්ගේ ගොදුරට ලන් වෙන්න ඔවුන්ට ත්‍යෙන්නේ සූක්ෂම හැකියාවක් .ඉතින් එයාලට අභියෝග කරන්න කිසිම සත්වයෙක් නෑ සත්ව ලෝකේ . හැබැයි.. සත්ව ලෝකේ සිටින එකම එක අයෙක් , මොවුන්ට අභියෝග කරන්වලු. ඒ තමයි කපුටා. ඔව් අපි හැමෝම දන්න කුණු ඇහිඳින කපුටා. කපුටා මොවුන්ට අභියෝග කිරීමට සමත් වෙන්නේ ඔවුන්ගේ ගෙල පෙදෙස ගොදුරු කරගෙන. පුදුමයට කරුණනම්, මේ අවස්ථාවේදී රාජාලියා හෝ උකුස්සා, කිසිදු ප්‍රති ප්‍රහාරයක් එල්ල නොකිරීමයි. ඒ වෙනුවට ඔහු කරන්නේ අහස වෙතට පියාසර කිරීම.


කපුටා යන සත්වයා ස්වාභාවයෙන් ඉහළ අහසේ සැරිසරන සත්වයෙක් නොවන නිසාත් උකුස්සන් සහ රාජාලියන් ස්වාභාවිකවම ඉහළ අහසේ සැරිසරන සත්වයන් නිසාත්, ඔවුන්ගේ ප්‍රති ප්රහාරය ලෙස ඔවුන් තෝරාගන්නේ කපුටු ප්‍රහාරය මධ්‍යයේ ඉහළ අහස වෙතට පියාසර කිරීමයි . ඉහළ අහසට ගිය පසු ඔක්සිජන් මට්ටම සමග ගැටෙන කපුටන් ඔවුන්ගේ ප්‍රහාරයෙන් පරාජය ලබනවා.


මෙම කතාව ඇසීමෙන් මට එක දෙයයි මතක් වුනේ. අද සමාජයේ සියයට බොහොමයක් පිරිසක් කපුටන් නොවේද යන්න. බොහෝ විට ඔවුන් වැඩි කතා බහක් නොමැති මිනිසුන් තෝරාගෙන අපහසු තාවයට නැතිනම්, ඔවුන්ගේ ගොදුරක් බවට පත් කරගන්නවා. ප්‍රති ප්‍රහාර නොමැති වීම හේතුවෙන් ඔවුන්ගේ මේ වැඩනම් නැවතීමක් නැති වෙනවා. මොකද එම පුද්ගලයින් කිසිම විටෙක ඉහළ ආකසෙට යන්නේ නැති නිසා..ඔවුන් ඔවුන්ගේ කර්තව්‍යන් වල කාර්ය බහුල නිසා.
නමුත් අපි සිතිය යුතු කරුණ


අපිත් ජිවිතේ කපුටෙකු වෙනවද නැතිනම් උකුස්සෙකුගේ වෙනවාද යන්න නොවේද .?

අවර්ජිත සිතුවිලි

මම බ්ලොග් එක ලියන්න පටන් අරන් දැනට අවුරුදු හතක් වෙනවා. ඒක එක් සහෝදරයෙක් පෙන්නපු මාර්ගයක්. හුගක් මිතුරෝ තමන්ගේ මිතුරන් එක්කාහු කරන් යම් යම් දේවල් කරද්දී , එක්තරා දිනයක අහම්බෙන් හමු වුණ ඔහු නම් සහෝදරයා මට කිව්වේ ලියන්න කියලා . සමාජ මාධ්‍යයට ආගන්තුකයෙක් වුණ මට ඔහු අපූරු මග පෙන්වන්නෙකු වුණා, අදටත් තරහ වේවි යාළු වේවි බහින්බස් වි මරා නොගෙන මරාගෙන මිතුදම සහෝදරකම සහ ගුරු වරයෙක් මෙන් ඉන්න ඔහු සැබැවින්ම වටිනා චරිතයක් . ඔහු පෙන්නපු මේ මාර්ගයේ වසර හතක් පුරාවට එක් එක් ලිපි කවි අකුරු කරමින් ආව මේ ගමනේදී ඒ ලිපි කියවපු ඇයෝ නම් අල්පයි. ප්‍රතිචාර දක්වපු ඇයො ඊටත් අල්පයි, ඒත් මම ලියුවා මොකද ඒක මගේ හිතට සැනසීම ගෙනත් දුන්න නිසා. එසේ කියන අතරතුර තවත් මිතුරන්ම මූණ ගැසුන අවස්ථාද නැතිව නොවේ. අදටත් ඔවුන්ගෙන් අයෙක් ලගම මිතුරන්ගේ ලැයිස්තුවේ සිටින බවද කිව යුතුය. බ්ලොග් ලියන අපගේ ලෝකය වෙනම එකකි. අප බලන ඒ ලෝකය වෙනම පාටකි. තේරුම් ගැනීමට පහසු තැන් මෙන්ම අපහසු තැන් ඊටත් එහාය.

කියන්න සතුටුයි දැන්නම් ලිපියක් දැම්මාම කියවන අය නැති තරම්. දැන් නිකන් වචන ටිකක් දැක්කොත් හුගාක් අය හෑලි කියලා අයින් කරනවා. කියවන්න අකැමැත්ත ද නැත්නම් කම්මැලි කමද නැත්නම් වෙනයම් හේතුවක් ද යන්න තේරුම් ගත්හ නොහැක්කකි . නමුත් යම් යම් තැන් වලදී හෑලි යන පදය මමද යොදාගන්නා බව කිව යුතු දෙයක් , ඒ හුදෙක් අර්ථ රහිතව මිනිසුන් විවේචනය කර ඇති තැන් වලදී යන්නද කිව යුතුය.
මිනිසුන් එන්න එන්න කියවීමෙන් ඈත් වන බව හූගක් අවස්ථා වලදී මම දැක ඇත්තකි. මගේ මිතුරන්ගෙන් ද බොහොමයක් අදටත් වචන දහයක් දැමුවහොත් එයින් මුල වචනය කියවා නැවත අග වචනය කියවා මධ්‍යස්ථ අර්ථය ඔවුන්ම හිතාගන්න අයවලුන් බොහෝය . එයට හේතුව ලෙස දැක්විය හැකි එකම දේ නම් කාල කළමනාකාරය පමණි . නමුත් , යම් වචන ගණනක් කියවා එහි අර්ථය සිතීමට තියා එය කියවීමටවත් නොහැකි මිනිසුන් අද ඇති බව අපි පිළිගත යුතුම කරුණකි.
සමාජයේ ඇතිවන දියුණුවත් සමග බොහොමයක් මිනිසුන් කියවීමෙන් ඈත් වන බව අප පිළිගත යුතු සත්‍යයකි. නමුත් මා හට ඇති වන ප්‍රශ්නය නම්, තවත් අයෙකුගේ කුණු පිටු ගණන් කියවන මිනිසුන්ට කාල කළමනාකරණය හේතුවෙන් වචන සියයක් හෝ කියවීම අපහසු යන්නය. කෙසේ හෝ එකී නොකී දේවල් අතරින් ලිපියක් දැමූ පමණින්ම කියවන අයද ඇති බව පිළිගත යුතු කරුණකි. ඉතින් මම අසන අවසන් කරුණ …
ලියන සෑම වචන සියයක්ම හැල්ලක්ද…?
මිනිසුන් කියවන්නේ නොමැති නිසා, ලිවීම නතර කල යුතු ද?

ආදරේ…,

ආදරේ ස්ථිර වෙන්න
වචන ඕනමද…

ආදරේ ස්ථිර වෙන්න
ලියවිලි ඕනමද

ලියවිලි වචන තිබුණ තැන
බැඳීම් ස්ථිරද

මම කියනවා…

මේ මොන දේ තිබුණත් වැඩක් නෑ
මිනිසුන්ගේ හිත ස්ථිර නැත්නම් කියලා..

හිතේ අයිති කාරයා මඩේ හිටවපු ඉන්න වගේ
නොවෙන තාක්කල් …
ඒ අදරේට ආයුෂ තියේවි 😍

තරු✨

වැස්ස

මම මහා හුගක් ආසයි වැස්සට… වැස්ස තමයි.. අපේ හිතේ තියෙන සිතුවිලි ඇහැරවන්නේ.. කොච්චර මිනිස්සු වැස්සත බැන්නත්… මේ ලෝකේ කිසිම කෙනෙක් වැස්සට වෛර කරන්නේ නැහැ… වැස්ස ඒ තරම්ම අපිට සමීපයි… සමහර අය ඉන්නවා වැස්සට උන්මන්තකයෙක්. වගේ ආදරේ කරන… ඉතින් මමත් එහෙම උන්මන්තකයෙක්… වැස්ස වෙලාවට නිකන් හරි කූඩයක් ඉහලන් එහාට මෙහාට යන්න… මම ආසම දෙයක්… ..
එහෙව් වෙලාවට මට උබව මතක් නොවේනවා කිව්වොත් නම් ඒක අමූලික බොරුවක් වෙනවා…
එක දවසක … මම එහෙම වැස්සත් එක්ක යද්දී…මට දැනුනා… ඔයා මගේ ලාගත් ඇවිත් මගේ කුඩේ අල්ලන් ඉන්නවා… මං අදටත් ආදරෙයි ඒ හැඟීමට…ඒත්
මොන හේතුවටද දන්නෙ නැහැ අද…
මම මෙහෙම ඉන්නේ….
අගක් මුලක් නැති අහිංසක
ආදරයක හිර වෙලා ..
මමයි ඔයයි අපේ දුර තියන් ඉන්න ඕන කියලා
හිතුවක් … ඉතින්
කුමක් කරන්නද
වැස්ස අපි එකතු වෙනවට කැමතිනම්….

මම මහ පොළව වෙමි … ඔබව අත් නොහරින

ඔව් උබ මට අහම්බයක්
අහම්බෙන් මගේ ජීවිතයට ආව….
කණාමැදිරි එළියක්…
අදුරෙන් වේලිලා අදුරටම හුරු
වෙලා හිටිය මට
පුංචිම එළියක් පෙන්නලා
මේක එළිය කියලා මතක් කර
උබ…
මගේ ජීවිතේට අහම්බෙන්
එබුන… චූටිම කණාමැදිරියෙක්
හරිම ලස්සන අහිංසක
එළියක් විහිදන
කෙනෙක් ..
එක දවසක් මට මතකයි
මගේම කවියකට
ඔබ පිළිතුරු බැන්ද…
මම හදකට සමාන කරන්නේ
කොහොමද කියලා…
ඉතින් කිමද ඔබ
සදක් වුවත්
ඉරක් වුවත්
පුංචි කණාමැදිරියෙක් වුවත්..
ඉතින් කිමද ඔබ
අමාවක වුවත්
සූර්යග්‍රහණයක් වුවත්
චන්ද්‍රග්‍රහණයක් වුවත්….
මම
සදාතනික මහා පොළව වුණාකොට…
කුමක් වුවත් ඔබව අත්නොහරින….

ආලය

වෙලාගත් විට
අාලයෙන් හද
දැනේ මත් වූ ලෙසක
හබා අා විට විරහව
දැනේ ගිනිගන්නා ලෙස
ඉතින් අාදරය නම්
ගිනිකන්දකි නිදා වුන්
ක්ෂණිකව පුපුරා
අලුකරහැකි
මුළු අාත්මයක්

පෘථග්ජන මිනිස්සු

නිකමට හිතල බලන්න
මිනිස්සු කියනව වගේ කාලයත් එක්ක හදවතේ තුවාල හොද වෙනවද කියලා…
එහෙනම් කොහොමද පිස්සන් කොටුවෙ අච්චර පිස්සො ඉන්නෙ
මිනිස්සු කියනවා කාලයත් එක්ක මතක අමතක වෙනවා කියලා..
එහෙනම් කොහොමද දෙයක් මතක් වුන ගමන් මිනිස්සුන්ගෙ ඇස් වලට කදුලු උනන්නේ..
ඔව් ඒ හැම දෙයක්ම මිනිස්සුන් විසින්ම තමන්ගෙ තුවාල වහගන්න තමන්ගෙ කදුලු වහගන්න හදාගත්ත උත්තර..
මනුස්යෙක් වෙනස් වුනානම් .. සමවෙන්න වෙනස් වුනා කියලා ලෝකෙට පෙන්නනවානම් .. කියනවා නම් … ඒත් ඇත්තටම ඒ හිතේ තියෙන තදම තද බැම්ම කඩල බැලුවනම් .. ඔයාටත් දැකගන්න පුලුවන් .. අමතක කරල ඉන්න විදිය…
හිත කියන්නේ අන්න ඒ වගේ දෙයක් … ආදරයක් ඇති වුනාම ඒක හරියට වීදුරුවක කැටයම් කරනවා වගේ.. ඒක් හරි ලස්සනයි .. ඒ වගේම තියුණුයි.. ඊටත් එහා ඒක කවමදාකවත් මකන්න බැහැ …
හිතක ඇතිවෙන ආදරයත් අන්න ඒ වගේ .. වේදනාවත් අන්න ඒ වගේ.. තුවාලත් ඒ වගේ කොච්චර අමතක කරලා හිටියත් මතක කියන කටුව ඇවිත් ඒකෙ කබොල්ල කඩලා දානවා..

කෙනෙක් කියනවා නැහැ මම අමතක කරා.. මට වැඩක් නැහැ දැන් එයා ගැන කියලා.. ඇත්තටම ඒ හිත රවට ගැනීමක් නෙමෙද.. හරියටම හිතලා බැලුවොත් .. අපි කෙනෙක්ට අදරය කරනවා කියන්නේ .. අපේ හදවත එයාට ඒකෙ කොටසක් දෙනවා කියන එක .. ඒකයි දෙන්නෙක් එක්කෙනෙක් වෙනවා කියන්නේ ඒකට .. එත් එහෙමනම් කොහොමද එතනින් අයින් වෙන්නේ ඒ කෙනා.. වීදුරුවක් බිදුනම හදන්න බැහැ බං..හැමොම හැමදාම දෙන උත්තරය ඉතින් හදන්නනම් බැහැ තමයි … හැබැයි අලුත් නිර්මාණ කරන්න පුලුවන් ..රත් කරලා වෙන විදියකට හදන්න පුලුවන්.. හැබැයි ගින්නට බයනම් .. කවදාවත් බැහැ ..

එතකොට ඔයා කියන්නේ වෙදනාව තියෙන තැන නැවතිලාම ඉන්න කියලද ..වීදුරු කටු උඩ ඉන්න කියලාද කියන්නේ
අපො නැහැ … මම කියන්නේ නැහැ වේදනාව තියෙන තැන නැවතිලා ඉන්න කියලා.. බිදිල ගිය වීදුරු කටු උඩ ජීවත් වෙන්න කියලා..හැබැයි මම කියන්නෙත් නැහැ බිදුන තැනින් අයින් වෙන්න කියලත් ..

මොන පිස්සුවක්ද්ද ඒක ..
ඔව් .. ඒක පිස්සුවක් .ඇයි ඔයා ඒ බිදුන තැනින් අයින් වෙන්නේ.. ඒ විදුරු කටු ටික අයින් කරන්නේ නැතිව.. ඇයි ඔයා උත්සාහ කරන්නේ නැත්තේ ඒ වීදුරු කටු අරන් අලුත් විදියට සකසන්න..ඒ කියන්නේ අලුත් හැඩයක් හදාගන්න..සරලව කිවුවොත් .. අලුත් විදියකට ආදරය කරන්න

හැමදෙයක්ම කියන්න ලේසි …
ඉතින් ඔයා එහෙනම් අත අරින්නේ.. ලේසි නිසා නේද .. එහෙනම් මම ඔයාට නිවටයෙක් කිවුවොත්..මොකද ඔයා කරන්නෙත් .. කියන්න ලේසිම වැඩේනේ

මම නිවටයෙක් නෙමෙ .. එත් මම අයින් වෙන්නේ එතන තව දුරටත් ආදරයක් නැති නිසයි.
ආදරයක් නැති වෙන්නේ කොහොමද ඒ මනුස්සයා ජීවත් වෙලා ඉද්දී.

මිනිස්සු මැරෙන්නම ඕන නැහැ ආදරය නැති වෙන්න.
මිනිස්සුන්ගෙ හදවතේ යටම තැනට පොඩි ඉඩක් දෙන්න ඕන .. ආදරය හොයන්න
ඔවු අපෙ හිත හරි දක්ෂයි ඉක්මනට ආදරය හංගන්න.. අපි පුරුදු කල කාලයට ඉඩදෙමු කතාව එයාව අරක්ගෙන .. ඉතින් එයා අපිට ඒක සැරෙන් සැරේ මතක් කරනවා..
එච්චරයි එතන වෙන්නේ..


මම දෙයක් කියනවා.
විදුරු බිදේවි කියල බයනම් ..
වීදුරු කැතවෙයි කියලා බයනම්
මේ ලෝකේ වීදුරු වල ලස්සන හැඩ්තල තියෙන එකක් නැහැ කවදාවත් …

හිතලා තේරුම් ගන්න ඕන මිනිස්සුමයි

පුංචි ඉල්ලිමක් …
බය ගුල්ලෙක් නම් ආදරයට අඩිය තියන්න එපා .. මොකද .. මේලොකේ නිර්මාණශීලි මිනිස්සු අල්පයයි ඉන්නේ.. හැම කෙනාටම බැහැ ඒක කරන්න ..නිර්මාණශිලී අයටත් බැහැ ඒක කරන්න හැම වෙලේම .. ඉතින් එවැන්නවුන්ගේ නවාතැන .. පිස්සන්කොටුව..මානසික රෝහල

අත හැරිමටනම් ලන් වන්න එපා
ඉශ්ට කල නොහැකි නම් පොරොන්දු දෙන්න එපා
ශක්තියක් නැති නම් .. හැරෙන්න නම් කෙනෙකුට ලං වෙන්න එපා …
මොකද .. මෙ ලෝකෙ හැමෝම පෘථග්ජන මිනිස්සු.

තරු